ඔන්ලයින් අධ්‍යාපනය සහ ශ්‍රී ලංකාව

කෝවිඩ් වසංගත තත්වය ව්‍යාප්ත වීමත් සමඟ පෙර පාසල් ,පාසල්, විශ්වවිද්‍යාල, පිරිවෙන් ඇතුළු අධ්‍යාපනික ආයතන සියල්ලම වසා දැමීම හේතුවෙන් බිඳ වැටුණු ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය යළි සක්‍රිය කිරීම සඳහා යොදා ගැනීමට සිදුවූයේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය නොඑසේනම් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයයි. වසර එක හමාරකට ආසන්න කාලයක් මෙරට පාසල් වසා දමා ඇති අතර ඒ කාලය මුළුල්ලේම දරුවන්ට ඉගෙන ගැනීමට ඇති එකම ක්‍රමය බවට මාර්ගගත අධ්‍යාපන ක්‍රමය පත්වුණි. මෙම තත්වයත් කෝවිඩ් වසංගත තත්ත්වයක් හේතුවෙන් දරුවන් මෙන්ම දෙමාපියන්ද විශාල මානසික පීඩනයකට ලක්ව සිටි. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා සේ ඒ අතරට ගුරු වැඩ වර්ජන ද එකතු වුණි.මේ සියල්ලම හේතුවෙන් අහිංසක දරුවන්ගේ අධ්‍යාපන ඵලදායිතාව අඩු වෙමින් පවතී. රටක් ජාතියක් ගොඩනැගිය හැක්කේ අධ්‍යාපනයෙන්ම පමණි.විශේෂයෙන්ම ලංකාව වැනි රටකට දැන් ඉතිරිව ඇත්තේ ද ඒ බලාපොරොත්තුවම පමණි. එවැනි තත්ත්වයන් හමුවේ දරුවරුවන්ගේ අධ්‍යාපනය බිඳවැටීම විශාල සමාජ අර්බුදයකි. රට කරවන ඇත්තන් ට ඒ පිළිබඳ නොහැඟීම ද ජාතියේම අවාසනාවකි. අධ්‍යාපනය යනු පොතපතේ දැනුම පමණක්ම  නොවේ. දැනුම, කුසලතා, ආකල්ප මේ සෑම දෙයක්ම අධ්‍යාපනයට අයත් වේ .විෂය නිර්දේශය ආවරණය වූ පමණින් උගත් බුද්ධිමත් සුපෝෂිත දරුවෙක් බිහි කිරීමට හැකියාවක් නැත. මේ වන විට අහිංසක දරුවන් ඔවුන්ගේ අධ්‍යාපන අයිතියි ඉල්ලා හඬා වැටෙයි. මොවුන් අතර ඇතැමුන් ඇති හැක්කන් වන අතර අති බහුතරය නැති බැරියෝ වෙති. ජංගම දුරකථනයක් තිබුණද එය ස්මාර්ට් නොවුණහොත් ඉන් වැඩක් නැත. ස්මාර්ට් වුණත් සිග්නල් නොමැතිනම්  එයින්ද ඵලක් නැත. සිග්නල්  තිබුණද  එය 4G නොවන්නේ නම් ඉන් ද ඵලක් නැත. ඒ සියල්ලම තිබුණද ඩේටා වලට වියදම් කිරීමට තරම් ප්‍රමාණවත් මුදලක් නැතිනම් කිසිවකින් ප්‍රයෝජනයක් නොමවෙයි.සීත කාමරවල සිට පනවන සංචරණ සීමා ගෙන්දගම් පොලොවෙ පය ගසන සරල මිනිසාට ප්‍රායෝගික නොවෙයි .ඒ කාමර වලට පිටින් වෙන පුංචි ලෝකයකි. ඔවුන්ගේ හඬට කන් දෙන්නට අයෙක්ද නොවෙයි. ඔවුන්ට මේ ඔන්ලයින් බර වැඩියි. සුළුතර ඇති හැක්කෝ මුදල් වියදම් කරමින් කොරෝනා,වර්ජන හෝ කුමන බාධක මැද වුවද ගුරුවරු වෙත ඔන්ලයින් හරහා ළංවීමට මග බලති.අධ්‍යාපනයේ වඩා වැඩි අවශ්‍යතාව ඇත්තේද ඉන්න තැනින් ගොඩ එන්න දගලන එවුන්ටමය. නමුත් අවාසනාවකට මෙන් මෙම අලුත් අධ්‍යාපනික ක්‍රමවේදය සාපයක් වී ඇත්තේ ද ඔවුන්ටමය. මේ තුළින් තව තවත් වර්ධනය වන්නේ ඇති නැති පරතරයම වේ. මේ හරහා මෙරට තුළ දුප්පත් පොහොසත් භේදය තව පරම්පරා ගණනාවකට ඇදගෙන යයි. නැතිබැරි අය ඇති හැක්කන් වීම තව තවත් දුර වෙයි. මේවා නුදුරු අනාගතයේ දී මුහුණ පෑමට නියමිත දැවැන්ත සමාජ අභියෝගයන් වනවා නිසැකය.

ඇති හැකි-නැති බැරි සියල්ලටම මාර්ගගත ඉගෙනුම් ක්‍රමයේ බලපෑම් නැතුවාම නොවේ. උදෑසන පහට හයට ආරම්භවන ඔන්ලයින් පන්ති ඇතැම් විට මධ්‍යම රාත්‍රිය දක්වාම සිදුකෙරයි. කෝවිඩ් වලට පෙර අධ්‍යාපනය අතිශය තරගකාරී විඩාබර එකක් වූවත් දරුවාට පාසලෙන් පන්තියට,පන්තියෙන් නිවසට යන අතරවාරයේ දී හෝ සිසිල් සුළං පොදක සුවය විඳ ගැනීමට හැකියාව ලැබුණි. මගතොටදී හමුවන පුද්ගලයින් පිළිබඳ අධ්‍යනය කිරීමට හැකියාව ලැබුණි. නමුත් මේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදය හරහා කුඩා දරුවා රොබෝ සුරතලෙකු මෙන් දිගින් දිගට විවේකයකින් තොරව එකම කාර්යයක් වෙනුවෙන් සිර කොට ඇත. එක දිගට එක පෙළට නානාප්‍රකාර පන්තිවලින් කුඩා දරුවාගේ මොළයේ පිරී ගොස් ඇත. මේ හරහා කිසිදු ප්‍රායෝගික අවබෝධයක් නොමැති, ලබාගත් දැනුම ප්‍රායෝගිකව භාවිතා කළ නොහැකි දරු පිරිසක් බිහිවෙයි.මීට පෙර හවසට කාටුන් නැරඹු දරුවාට හවස කාටුන් පැය ද මේ වන විට මග හැරී ගොස් ඇත. සියලු දෙනා එක්ව මෙලෙස සිරගතකරන්නේ රූපකායක්ම නොව නැවුම් සිතුවිලි ,නැවුම් අදහස් ගොන්නකි. සුන්දර මොළකැටි දරුවෙක් යන්ත්‍රයක් බවට පත්කර මතු අනාගතයේ දී ඔවුන් හිත් පිත් නැති ව කටයුතු කළහොත් එදිනට දුක්වි ඵලක් නැත. කුඩා දරුවාගේ ජීවිතය කෙතරම් අවිවේකීවද කිවතොත් දවසේ ප්‍රධාන ආහාර වේල් තුන පවා ඇතැම් විට ගුරුවරයාට හොර රහසේම හිටි තැනම හිදිමින් කටට දෙකට ගිල දමයි. මේ හරහා අනාගතයේ උගත් ලෙඩ්ඩු පිරිසක් බිහි වුවහොත් ලැබූ අනාගතයෙන් කිසිදු ප්‍රයෝජනයක් නැති වෙයි. පැය 10-15 එක දිගට පරිගණක තිරයක් දෙස බලා හිඳීම නිසා කුඩා දරුවන්  අක්ෂි රෝග වලට ගොදුරු වීමේ අවදානමක් ද පවතී. මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ඇතැම් ආයතන අක්ෂි සෞඛ්‍ය හා ඔන්ලයින් අධ්‍යාපනය යන මැයෙන් වැඩසටහන් සංවිධානය කිරීමට පවා යොමු වූයේ මෙහි ඇති අවදානම මොනවට පැහැදිලි කරලමිනි. විනාඩි විස්සකට වඩා වැඩි වේලාවක් පරිගණක තිරයක් දෙස බලා සිටීම යෝග්‍ය නොවන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ පිළිගැනීම වුවද මෙරට තුළ ක්‍රියාත්මක වන පෙර පාසල් දරුවාගේ ඔන්ලයින් පන්තියක් පැය එක හමාරකට වඩා වැඩි වෙයි. ඇතැම් විට ඊට වඩාද වැඩි විය හැක.ක්‍රමවේදයන්ගේ පවතින මෙවැනි අවිධිමත්භාවයන් නිසා එක් ගැටළුවකට විසඳුම් සොයන අතරවාරයේ තවත් අලුත් ගැටලු ගණනාවක් නිර්මාණය වෙමින් පවතී. මුළු දවස පුරාම කාමරයක් තුළට වී තාක්ෂණයත් සමඟ ගනුදෙනු කරමින් සිටින දරුවාට ඔහුටත් නොදැනීම පවුල් සම්බන්ධතා මතක වී යයි. මව පියා සහෝදර සහෝදරියන් සමඟ එකට හිඳිමින් ආහාරවේලක් ගැනීම පවා ඔවුන්ගෙන් දුරස් වී යයි. අද දවසේ සරල යැයි හැඟෙන මෙවැනි කාරණා අනාගතයේ දිනක ප්‍රබල සමාජ කතිකාවන් නිර්මාණය කරනු නිසැකය.

අන්තර්ජාල පහසුකම් ඉතා දියුණු මට්ටමකින් රට පුරාම ව්‍යාප්තව පවතින්නේ නම් අනෙක් දියුණු රටවල මෙන් සියයට සියයක ඵලදායීතාවක්  ලබා ගැනීමට හැකි වෙයි. එපමණක් නොව ඇතැම් දිනවල දවස පුරා විදුලිය කප්පාදු කිරීම තවමත්  මෙරට සිදු වෙයි.ඇතැම් විට පෙර දැනුම් දීමකින් තොරව පවා මේවා සිදුකරති.මෙවැනි තත්ත්වයන් හමුවේ ඔන්ලයින් අධ්‍යාපනයේ ගුණ ගැයීම හෝ දියුණු රටවල සියල්ලම ඔන්ලයින් මගින් සිදුවනවා යැයි කියමින් ශ්‍රී ලාංකිකයන් සාම්ප්‍රදායික යයි පම්පෝරි කියවීම ප්‍රායෝගික නොවේ. දියුණු රටවල අධ්‍යාපනය පමණක් නොව සෑම කටයුත්තක්ම පාහේ මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු වෙයි. එය එසේ වන්නේ එකී රටවල සියලු දෙනාටම වඩා හොඳ ජීවිතයක් උරුම නිසාවෙනි. නමුත් අප වැනි රටවල වඩාත් හොඳ ජීවිත උරුම වන්නේ අතළොස්සකට පමණි. එවැනි තත්ත්වයන් හමුවේ ලෝකයේ අනෙක් රටවල් සමග මෙය සංසන්දනය නොකළ යුතුවේ .මන්ද ක්‍රමවේදය සමාන වුවත් ඊට අනුකූල වපසරිය හා අනෙකුත් දේ අහසට පොළොව මෙන් වුණි.

අනික් කාරණාව වන්නේ දියුණුව යැයි සැලකෙන රටවල දරුවන්ට ජංගම දුරකථනය හා පරිගණකය  කෝවිඩ් වලට පෙර සිටම ඉතා හුරුපුරුදු සමීප මෙවලමක්  වුණි.නමුත් මෙරට තුල ජංගම දුරකතනයක් පාසලට ගෙන ඒම දරුවා පාසලෙන් නෙරපීමට තරම් ලොකු කරගෙන දඟලපු අතීතයක් අපට තිබේ.පරිගණකයක්, ජංගම දුරකථනයක් ළමයින්ට නුසුදුසු මහා භයානක දෙයක් යැයි ළමා මනස තුළ විවිධ රූප මැවූ දෙමව්පියන්ම දරුවන්ට අද දුරකථනයක් ගෙනැවිත් දෙයි. ගසකින් වුවද ගෙඩියක් එක රැයකින් ඵල නොදරයි. මලක් හටගෙන එහි රේණු වලින් පරාගනය වී එයින් ඇතිවෙන බීජය ටිකෙන් ටික වර්ධනය වී සරු ඵලයක් බවට පත් වෙයි. ඔන්ලයින් අධ්‍යාපනයට දරුවා විධිමත්ව හැඩගැසීමද මේ හා සමාන වේ.තාක්ෂණයට නුහුරු දරුවාට මීට හැඩගැසීමට කාලයක් අවශ්‍යය. නියමිත සාක්ෂරතාව නොමැති දරුවන්ට මෙහි ඉමක් කොනක් නොවැටහි ඒ මේ අත අතරමං වෙයි. මේ නිසා ජීවිත පවා අහිමි වී ගිය පුවත් පසුගිය කාලයේ අසන්නට ලැබුණි. දෙමාපියන්, වැඩිහිටියන් එකතුව දරුවාගේ කුඩා මනසට දුරකථනය පරිගණකය පිළිබඳව භයංකාර ප්‍රතිරූපයක් මවා එකවරම දරුවා මීට යොමු කරවීමෙන් ඔහුට ද ඔහුට අමතක කරවයි. අධ්‍යාපනය මුවාවෙන් වෙනත් වෙනත් දේට පෙළඹීමත් ඒ හරහා විවිධ අකරතැබ්බයන්ට මුහුණ දීමත් සිදු වේ. එසේවන්නේ ඔවුන් මෙම ක්‍රමවේදයට ආධුනික  නිසාවෙනි. තත්පරයක් පාසා පවතින දැනුම අලුත් වන ලෝකයක අප අද සිටිනෙමු. එමනිසා මෙවැනි අධ්‍යාපනික ක්‍රමවේද වඩාත් උචිත වේ. නමුත් සම්පත් බෙදීයාමේ විශාල විෂමතාවක් මෙන්ම අවශ්‍ය මූලික සාක්ෂරතාව හා ඥානය නොමැති දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදය හෙන ගෙඩියක් ඔලුවට කඩන් වැටුණා හා සමානය. මෙයට ටිකෙන්ටික දරුවන් හුරුකර තාක්ෂණයේ ඇති හොඳ නරක මැනවින් කියා දිය යුතුමය. සාම්ප්‍රදායික පන්ති කාමරයට සිරනොවී මෙලෙස ඉගෙනීමටද හුරුකළ යුතු වන අතර ඊට දරුවාව පියවරෙන් පියවර නිසි අවබෝධයක් හා දැනුමක් ලබා දී විධිමත් ව යොමු කරවිය යුතු වේ. එවිට මෙම ක්‍රමය වඩාත් ඵලදායි වනවා නිසැකය.

ඔන්ලයින් අධ්‍යාපනයේ වරදක් නැති අතර ලංකාවට මෙය සමාජගත කළ ආකාරයත්, සමාජ ගත කළ කාලය හා වේගයත් උචිත නොවේ. සාම්ප්‍රදායික අධ්‍යාපනය අපගේ ශරීරවලට ජීරණය වූ එකකි. එසේම එය ඉතා සාර්ථකය. නමුත් එය එලෙසම පවත්වාගෙන යාමට නොහැකි තැන වෙනත් විකල්ප වලට යා යුතුවේ. මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ඊට සුදුසුම විකල්පයයි. දැන ගියොත් කතරගම නොදැනගියොත් අතරමග මෙන් නොදැනුවත්කම බොහෝ වැරදි වලට හේතු වී ඇත. එම නිසා මෙය මීට වඩා විධිමත් හා සාධාරණ අයුරින් ව්‍යාප්ත කර හැරිය යුතු වේ. සෑම දෙයක් පිළිබඳවම වපර ඇසින් නො බැලිය යුතුවා සේම වදුරට දැලි පිහියක් හසුවුනා මෙන් ඉවක් බවක් නොමැතිව කටයුතු කිරීම බුද්ධිගෝචර නොවේ. ඇතැම් ගුරුවරු මෙම ක්‍රමවේදය මුදල් උපයන ජාවාරමක් බවට පත්කර ගෙන ඇති අතර මේ සියලු කරුණු කාරණා මත අහිංසක දරුවන් වෙනුවෙන් ඉතා ඉක්මනින් මාර්ගගත අධ්‍යාපනය නියාමනය කිරීමට ලක් කළ යුතුවම ඇති අතර විශාල සමාජ අවශ්‍යතාවයක් බව බවට මේ වන විට පත් වී හමාරය.

✍උපේක්ෂා ලියනගේ




Post a Comment

0 Comments