අනාථ දරුවෙක් සිලිකන් නිම්නයේ රජ වූ වගයි

 අබ්දුල් ෆතාහ සිරියාවේ සිට ඇමෙරිකාවට පැමිණි සංක්‍රමණිකයෙකි. Joven Carroll ද එවැන්නියකි. ඔවුන් දෙදෙනා විවාහ වී උන්නේ නැත. එහෙත් ඔවුන් අතර සම්බන්ධයක් විය.ඒ සම්බන්ධයේ ප්‍රතිඵලයක් ලෙස පුතෙකු උපන්නේය. විරැකියාවෙන් පෙළෙන අනවසර සංක්‍රමණිකයන් වූ ඔවුන් දෙදෙනාට තමන්ගේ ජීවිතය ගැනවත් හරි හැටි බලා ගන්නට හැකියාවක් තිබුනේ නැත. ඉතින් ඔවුන් තවත් මනුෂ්‍ය ජීවිතයක වගකීම් දරන්නේ කොහොමද? ඒ නිසා තමන්ට උපන් දරුවා කාට හෝ හදා ගන්නට දෙන්නට ඔවුහු තීරණයය කළහ.

ඒ දරුවාගේ නම ස්ටීව් ය.

ඉතින් පුංචි ස්ටීව්ව රැකියාවැති යුවලකට දරුකමට හදාගන්න භාර දෙනු ලැබිණි. ඒ පොල් හා හා ක්ලාරා ජොබ්ස් නම් යුවළටය. ස්ටීව් පුංචි කාලේ පටන් අමුතු දරුවෙකි. යන්ත්‍රසූත්‍ර ගැන තිබුණේ පුදුමාකාර කුතුහලයකි. ඔහුව හදා වඩා ගත් තාත්තා වාහන කාර්මිකයෙකි. ඒ තාත්තාට තිබුණේ වාහන ටින්කරින් කරන ගරාජයකි. ස්ටීව් තාත්තගේ ගරාජයට වී මෝටර් රථ වල කොටස් ගලවමින් නැවතත් ඒවා තිබූ පරිද්දෙන් සවි කළේය. එය ඔහුට සෙල්ලමක් බඳුවිය. එහෙත් එය දිගු ගමනකට මුල පිරීමක් විය. වාහනයක හෝ යන්ත්‍රයක හෝ හැම කොටසක් ගැනම වෙන වෙනම සැලකිලිමත් වෙන්නට ඔහුට කියා දුන්නේ ඒ තාත්තාය. ස්ටීව් අති දක්ෂ ශිෂ්‍යයකු වූයේ ය. එහෙත් ඔහුගේ අධ්‍යාපනයට ලොකු මුදලක් වෙන් කරන්න තරම් ඔහුව හදා වඩා ගත් දෙමාපියන්ට වත්කමක් තිබුනේ නැති නිසා ඔහුගේ අධ්‍යාපනය අතරමග ඇන හිටියේය.

 1972 අවුරුද්දේ දී කෙසේ හෝ ඔරිගන්හි රීඩ් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්නට ඔහු මඟ පාදා ගත්තේය. පලමුවන වාරය හමාර වන විට ඒ ඉගෙනීමද නැවතිනි. එහෙත්, ඒ විශ්වවිද්‍යාලයේ ඔහු තෝරාගත් විෂයයන් අතරින් එක් විෂයකට පමණක් පන්ති වලට සහභාගි වෙන්නට ඔහුට හැකියාව ලැබුණි. ඒ කාලය අතරතුර ඔහු තමන්ගේ වියදම සරි කරගත්තේ අහක දමන බීම බෝතල් හා ටින් එකතු කර විකුණමිනි.  ඔහුට ඉන්නට හරිහමන් නවාතැනක් තිබුණේ නැත. බොහෝ විට ඔහුගේ රාත්‍රීන් ගෙවුනේ මිතුරෙකුගේ නවාතැනක, බිම එළා ගත් අතුරනයක් මතය. ඉරිදා දවස ඔහු ගෙවා ගත්තේ නගරයේ ඇති හරේ ක්‍රිෂ්ණා කෝවිලෙන් නොමිලේ ලැබෙන කෑම වේලට පින් සිදු වෙන්නටය.

 1974 වසරේ ඔහුට රැකියාවක් ලැබුණි. ඒ වීඩියෝ ක්‍රීඩා නිපදවන අටාරි සමාගමේ ය. පරිගණක හා ඒවායේ උපාංග කෙරේ ඔහුගේ උනන්දුව අතිමහත් විය. ඒ කාලයේ මේ ස්ටීව්ට තවත් ස්ටීව් කෙනෙක් මුණ ගැසිණි.ඔහු ස්ටීව් වොස්නියැක් ය. ඉතින් මේ ස්ටීව් ජොබ්ස් හා ස්ටීව් වොස්නියැක් එක්ව Home brew computer club හි හමු වලට නොවරදවා සහභාගි වූහ.

 1976 අප්‍රේල් පලවෙනිදා ස්ටීව් ජොබ්ස් හා ස්ටීව් වොස්නියැක් එක්ව ඔවුන් ගේ ගරාජය තුළදී පරිපථ පුවරුවක් නිර්මාණයය කළ අතර එම වසරේ ගිම්හානයේ මැද භාගයේ දී apple 1 පරිගණකය නිර්මාණය වෙන්නට අඩිතාලම වූයේ එයයි. තමන්ගේ සම නිපැයුමට ආයෝජකයන්  සොයා ගන්නට ඔවුහු අති මහත් වෙහෙසක් දැරූහ. අවසානයේ ඉන්ටෙල් ආයතනය ඔවුන්ට මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නට ඉදිරිපත්පත් වීමත් සමග ඇපල් යන නාමය පුවත් මවන්නට පටන් ගත්තේය.මහත් කීර්ති නාමයක් ද ඇතිව ස්ටීව් ජොබ්ස් සිලිකන් නිම්නයට ප්‍රවිශ්ට වූයේය. වයස අවුරුදු 23 වෙද්දි ස්ටීව් ජොබ්ස් ගේ වත්කම ඇමරිකන් ඩොලර් මිලියනය ඉක්මවීය. වයස අවුරුදු 24 වෙද්දී එය ඩොලර් මිලියන 10 දක්වා වැඩි වී තිබිණ. වයස අවුරුදු 25 වන විට ඔහුගේ වත්කම් ඩොලර් මිලියන 100ට අධික විය. දෙමව්පියන්ගෙන් උරුම වූ කිසිම මුදලක් නැති මේ තරුණයා ෆෝබ්ස් සඟරාව මගින් ඉදිරිපත් කරන රටේ ධනවත්ම මිනිසුන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම නම සඳහන් කළ ලාබාලතම පුද්ගලයා වෙන්නට අවස්ථාව උදාකර ගත්තේය. එහෙත් ජොබ්ස් ගේ ජීවිතයේ තිබුණේ ජයග්‍රහණයම පමණක් නොවේ. පාවාදීම්වලට හා පරාජයන් වලට ද ඔහුට මුහුණ දෙන්නට සිදුවිය. ඔහු සේවය කළ මැකින්ටොෂ් සමූහයෙන් ඔහුව නෙරපනු ලැබුණි. එයින් පසුබට නොවුණු ජොබ්ස් NeXt නම් ඔහුගේ නව ව්‍යාපාරය ඇරඹුවේ ය. එය එතරම් සාර්ථක නොවුණු තැන ඔහු  Pixar නම් නව ව්‍යාපාරයට අත ගැසුවේය. ඒ ව්‍යාපාරය සාර්ථක වූයේ ය.

 ඒ හැම දෙයක්ම හොඳින් සිදුවෙද්දී ජොබ්ස් ගේ ජීවිතය කම්පනය කරවන පුවතක් අසන්නට ලැබිණ. ඒ පුවත ලැබුණේ ඔහුගේ වෛද්‍යවරයා වෙතිනි. ඒ ඔහු දුර්ලභ අග්න්‍යාශ පිළිකාවකින් පෙළෙන බව ය. ඔහු එළිපිටම වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට නිර්මාංශ ආහාර, එළවළළු ,පලතුරු යුෂ හා හෝමියෝපති ප්‍රතිකාර වැනි ස්වභාවික ප්‍රතිකාර ක්‍රම වලට යොමු වූයේය. හේතුව කවරක් වුවද ඔහුගේ තත්වය වඩාත් නරක අතට හැරුණි. තවත් වසර කීපයක් ගත වන විට ස්ටීව්ට සාමාන්‍ය ලෙසින් වැඩ කරන්නට නොහැකිවිය. ඔහු තම Apple ආයතනය වෙත ලිපියක් ඉදිරිපත් කළේය.

මේ ආයතනයේ ප්‍රධානියා ලෙස මට මාගේ වගකීම් හරිහැටි ඉටු කරන්නට නොහැකි වන දිනෙක ඒ බව පළමුවෙන්ම ඔබට දැනුම් දෙන පුද්ගලයා වන්නේ මා බව මම ඔබට නිතරම පවසා ඇත්තෙමි. අවාසනාවකට ඒ දිනය එළඹී ඇත.”

තම ආයතනයේ සේවයෙන් සමුගෙන 6කට පසුව ඔහුට තම ජීවිතයෙන් ද සමුගන්නට කාලය එළඹිණ. තමා වෙත එළඹෙමින් පවතින මරණය ගැන ඔහු අපූරු සඳහනක් කළේය.

 කිසිම කෙනෙක් මැරෙන්න කැමති නෑ ස්වර්ගයට යන්න කැමැත්තෙන් ඉන්න අය වුණත්, ස්වර්ගයට යන්නවත් මැරෙන්න කැමති නෑ..ඒත් අපි හැමකෙනෙකුටම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ළඟාවෙන්න සිදුවෙන ගමනාන්තය තමයි මරණය. මරණය තමයි ජීවිතයේ ලොකුම සොයා ගැනීම. මරණය ජීවිතය වෙනස් කරන සංධිස්ථානයක්. මරණය පරණ ජීවිතයෙන් අපිව මුදවාගෙන අලුත් ජීවිතයකට අරගෙන යනවා. අහිමිවීම්,අසාර්ථක වීම් ගැන ඇති බියෙන් මිදෙන්නට තියෙන හොඳම ක්‍රමය තමයි මැරෙන බව දැනගෙන ජීවත් වෙන එක…”

ස්ටීව් ජොබ්ස් කීවේය. සැබැවින්ම එය අපූරු කතාවකි. එහෙත් ඔහු ජීවිතය හා ජීවත්වීම ගැන කී කතාව ඊටත් වඩා අපූරුය.

සමහරවිට ජීවිතය ඔබව බිමට ඇද දමාවි. ඒත් ඔබ ගැන ඇති විශ්වාසය නැතිකරගන්න එපා….


✍උපේක්ෂා ලියනගේ 



Post a Comment

0 Comments