නුඹ තරම්………

                                

අම්මාගේ ශ්‍රෝණි මේඛලාව පුළුල් වූයේ ඈට සුන්දර නිතඹක් මවන්නට නොව  ඔබට මට සුව උකුල් යහනක් තනන්නට ය. ඈ ඇගේ රුධිර කේෂනාලිකා සිසාරා දිවගිය ඔක්සිජනීකෘත රුධිරය ක්ෂීර ධාරාවක් බවට හැරවූයේ ඔබගේ මගේ අනාගතයට ඔබ මා සරු ජනිතයින් කරන්නටය. ඈ තුනු සපුව පියරුලා සරසන හෝරාවන් වෙන්කලේ ඔබ මා සනසන නැළවිලි ගී කියන්නට ය. ඈ ඔබට මට අපගේ ජීවිතයේ අරුම තිඹිරිගෙයිදීම හිමිකර දෙන්නට හැම රැයකම හැම උදයකම ඈ සතු සියලු වෙර වීරිය යොදන්නට මදකුදු පැකිලුනේ නැත. සෘජු  කශේරුකාවකට හිමිකම් කියන සවිබල දෙපා ජීවියෙක් බවට හරවන්නට ඇගේ සකලවිධ මනෝභාවයන් අප වෙතම ගාල්කර තැබුවාය. ඇය නමින් අම්මා නම් විය…….

නුඹ…..

අන්තරාභිජනනය මගින් සරුජනිතයන් බිහි කරන හුදෙක් ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියට ඔබ්බෙන් වූ අතිශය මානුෂික හා අතිශය සංවේදී කාර්යභාරයකට උරදෙමින් ඔබව මම මෙලොවට ජනිත කළ බව අප සියලු දෙනාම හොඳින් දනිමු. අපව මෙලොවට බිහි කළේ බිහි කළ යුතු නිසා නොව අපගෙන් සරු  ලොවක් ප්‍රාර්ථනා කළ නිසාවෙනි.ඔබේ සුසුමක  රිද්මය නුඹ කුස තුළ කළලයකව සිටි කාලයේ පටන් අපගේ හදවත් වල රිද්මය හා අතිච්ඡාදනය වූ බව ඔබ මා නිරායාසයෙන් අවබෝධ කර ගෙන සිටින්නෙමු. නුඹත් අපත් බැඳ සිටි පෙකනි වැල සෙනෙහෙබර වූ අකාරුණික වෙදැදුරකුගේ සැත්කම් පිහියෙන් විච්ඡේදනය කළ අවාසනාවන්ත හෝරාවේදී නුඹ කෙරෙන් මදක් දුරස් වූ බව ඔබට මට දැනේ. එහෙත් නුඹ දැනදැනම එයට ඉඩ දුන්නේ අප අනන්‍ය ජීවියකු වශයෙන් වෙන් කොට හඳුනා ගත යුතු නිසාවෙන් බව වයසෙන් වැඩෙත්ම අවබෝධ වුනි.

දැනට ඔබත් මමත්  රජෙක් රැජිනක් නොවන බව සත්‍යයකි. නමුත් අම්මට අප රජෙක් රැජිනකි. එය ඊඩිපස් සංකීර්ණයම නොවෙයි.පියා උපතින්ම රජකම් නොකෙරුවත් පරම්පරාවෙන් ඔබට මට එය උරුම නොවුනත් දිනක ඔබට මට රජ වෙන්න පුළුවන් ඒ නාමයෙන්ම.

අම්මෙක් තාත්තෙක් දකින අපේ රූපය ඔවුන්ගේ නෙත් අගට අරන් නොඑන්නේ නම් පුතෙක් දුවෙක් වූයේ ඇයි? ……. සිතන්න…

කැපවෙන්න ………වෙහෙසෙන්න……සැබෑ වන තුරු සිහින දකින්න……ඔවුන් පතන රුව යථාර්ථයක්ව දිස්නය දෙන තුරුම…………

✍ උපේක්ෂා ලියනගේ





 

Post a Comment

0 Comments