තාරුණ්‍යය ඔබ සහ මම

ස්නිග්ධ වාග් මාලාවන්ට ලොල්වූ  නුඹ නුරා මුව අගින් වෑහෙන මන්දස්මිතයන්ට පෙම් කරන බව සත්‍යයි. නුබේ තාරුණ්‍ය උපයුක්ත කොට ගන්නේ කවර නම් කාර්යභාරයක් සාක්ෂාත් කරගන්නට දමල් තුහින වැටෙන වසත් සමයේ අගට එළඹ එන ඉඩෝරයක් සේ නුඹ නුඹේ අනන්ත වූ තාරුණ්‍යයේ  අවසන් ඵලයට නිශේධනීය අරුතක් සපයන්නට ඉඩහසර සලසන්නේද?

සබඳ ………….

තරුණයා යනු ඉල්පී ගිය මාංශපේශීන් සතු ආරෝහ පරිණාහ දේහයක් හෝ තරුණිය යනු උස්ව නැගුණු පීන පයෝධර යුගලක් සතු සුකොමළ බඳවටක් ඇත්තියක් හෝ පමණක්ම නොවේ.නුඹ නුඹේ වත, ගත  ආලෝකමත් කළ පමණින් නුඹගේ තාරුණ්‍ය අර්ථාන්විත එකක් වන්නේ ද නැත. තරුණයෙක් තරුණියක් නම් නුඹ හඳුනාගත් අරමුණක් ඉරණමක් තිබිය යුතුමය. ඒ අරමුණ හෝ ඉරණම කරා නුඹ නුඹේ ජීවන ගමන මෙහෙයවිය යුතුමය. නුඹ  හා ඇවිද යන්නට බොහෝ අය සිටියද ජීවිතයේ යථාර්ථයට මුහුණ  දෙන්නේ ඒ එකෙක්වත් සමගින් නොවේ. ඇතැම්විට තමාගේ  සෙවනැල්ලද නැතිවය. නුඹට රිදුනු විට සනසන්නට,නුඹට අවැසි විට හිස සිඹින්නට, නුඹ සමග ජීවිතය එක්ව විඳින්නට හෝ විඳවන්නට කිසිවෙකුත් නැති දිනට නුබට නුබේ ජීවිතයට තනිවම මුහුණ දිය යුතුමය. එය නුඹ කොතෙක් පිරිවර ලද්දත් අවසානයේ අත්වන දැනෙන රිදෙන යථාර්ථයයි. එහෙයින් නුඹ නුඹේ ජීවිතය අනන්ත වූ අරමුණක් කරා මෙහෙය විය යුතුමය. ඒ සඳහා ඔබ හඳුනාගත් ඉලක්කයන් කරා නුඹේ ජීවිතයනුඹේ ජීවන ගමන රැගෙන යා යුතුමය. කොතෙක් කම්කටොලු බාධා නුඹ වටා රොද  බැන්ද ද නොසැලෙන මනසින් යුතුව නුඹේ ගමන යා යුතුමය. එවිට නුඹ යම් දිනෙක ජය ලද්දෙකු බවට පත්වනු ඇත.  

ස්වප්න ලෝකයෙන් මිදී ජීවිතය ජීවිතයක් සේම විඳිය යුතුම වෙයි. ජවය සවිය ඒකාත්මික කොට එහි සාරය දැනුම් කෝවෙහිලා පෙරා තෝරාගෙන ඉන් ජීවිතය පෝෂණය කරගත යුතුව ඇත. පමා වන්නේ ද පමා වී පසු තැවෙන්නේ ද නැතහොත් පෙරට ගත් පය පෙරටම තබමින් නුඹ ඉදිරියේ තිබෙන දිලෙන අරුම ජීවිතය ඔබේම කොට අතැඹුලක් සේ නුඹ වෙත රඳවා ගන්නේ ද යන්න නුඹටම සිතීමට කාලය එළැඹ ඇත. ඉදින් නැගිටිමු. නැගිට ජීවිතය අත්දකින්නට කල්යල් සොයමු.


 ✍ උපේක්ෂා ලියනගේ 

Post a Comment

0 Comments