සැලෙන සිහිනෙට සවියක්


 විශ්වාස කරන ආකාරයට සෑම කෙනෙකුටම කරන්න අමාරුකරන්න බෑ කියලා හිතෙන මතක් උනත් යටි කය තෙමෙන, ඒත් පණ ඇරලා ආදරේ කරනහීන තියෙන්න ඕනි. ඒ වගේම ඒ පසුපස ලුහුබඳින.., පෙම් කරන.., නොසිඳෙන ආශාවක් තියෙන්න ඕන.වෙනස් ගමනක් යද්දී කාටවත් හිරිහැරයක් නොකර තමන්ගේ පාඩුවේ ඒ හීන වෙනුවෙන් මහන්සි වෙද්දි විවිධ අය විවිධ කතා වල නිර්මාපකයන් බවට පත් වෙන්න පුළුවන්. අපි නොදන්නා අය අපිට චරිත සහතික දෙන්න පුළුවන්. සමහර විටෙක අපේ අසාර්ථකත්වයට, පරාජයන්ට වස්තු බීජය ළඟම හිතවතෙක් වෙන්නත් බැරි නෑ. මෙහෙම ඇවිද ගෙන යන හීන පාරේ බොහෝ නැවතුම්වල බොහෝ අය ගොඩ වෙන්නත්, බැස යන්නත් පුළුවන්. බැස යාම් දරාගෙන, ගොඩවීම් ශක්තියක් කරගෙන මනුස්සකමින්  පියනැගීම ඉතාමත් විශිෂ්ටය. හීන පාර ඉදිරියේදී තවත් පාරවල් සොයා සොයා ගැනීමට මෙන්ම එහි නැවතීමේ තිතක් සොයා ගැනීම ද දුෂ්කර විය හැක. අයකු යමක් ඉල්ලූ විට ටිකක් හෝ දෙමින් සෑම මොහොතකදීම සිනහවෙන් සංග්‍රහ කරමින් යාත්‍රා කළහොත් ආශිර්වාද නිතැතින්ම අපට හිමි වේ. හීන පාරේ ඇවිද යද්දී නොමිනිස්කම් මැද මිනිස්කම් මිනිස්කම් රැඳී මනුස්සයෙක් වන්නට හැකියාව ඇත්තේ නම් එය විශිෂ්ට ය. හීන පාරේ ලදුකැලෑ, ගිරි ශිඛර වැඩි වෙන්න පුළුවන්. සමහරවිට හැම දෙයක්ම අතහැරලා මීට වඩා ලේසි දෙයක් කරන්න ඕනේ කියලා සිතුවිල්ලක් එන්න පුළුවන්. හැබැයි නිදිමරන්, වේලක් දෙකක් බඩගින්න හරි ඉඳලා අමාරු කාලය අල්ලගෙන ඉන්න. කකුල් රිදුනත් අත් ගෙවුනත්.. ඇය ඇස් නිදිමතේ එල්ලුනත් ඔළුව පුපුරන්න ගියත්..  හීනය අත්නොහරින්න. වැහිකාලේ, නියං කාල පසුකරගෙන අමාවක පහුකරගෙන ගිනියම් වූ යකඩ පදම් වෙලා, දූලි දහදිය වලට පස්සේ ..කටුක ගිම්හානයට පස්සේ.. වසන්තය එනවා සත්තමයි.

අද දරාගන්න අමාරු වේවි.. කරදර දරාගෙන තනියම එකම හීනෙට යන්න අමාරුයි. හැබැයි අතාරින්න එපා. මේ යන ගමනේදී පුලුවන්නම් අතක් දෙන්න කාටහරි. දෙන්න පුළුවන් දෙයක් දෙන්න. ඒ වගේම අනුන්ට හිනා නොවී, අනුන්ගේ දේවල් නොසොයා, අනෙකාට ඉරිසියා නොකර , උඩුගම් බලා යන්න. තමන් කවුද කියලා කාටවත් පෙන්නන්න නෙමෙයි, තමන් කවුද කියලා තමන් දැනගෙන, තමන්ගෙ සතුට සැනසීම වෙනුවෙන් ගොඩ එන්න. අමරණීය මිනිහෙක් වෙන්න නම් තමන්ටම තමන්ගේම ජීවිත කතාවේ වීරයා වෙන්න සිද්ධ වෙනවා. ඇවිදින්න යන්න ආස තැන් ගන්න ආස ඇඳුම්, කන්න ආස කෑම

මේ වගේ ආසම දේවල් ටිකක් ඇති සමහර වෙලාවට වැටුනහම පොඩි තෙලක් ගහලා පණ ගන්න. අද වෙහෙසිලා උනන්දු වෙලා ප්‍රතිඵලය විදියට ආදර්ශයට ගන්න පුළුවන් පරිණත මිනිහෙක් සමාජයට දායාද කරන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම දිනුම. ලොකු ලොකු දේවල් කියන පරිණත යැයි කියා කියාගන්නා අය අතර කාටවත් නොහිතෙන පුංචි දේත් හොඳට තේරෙන, පරිණත මිනිහෙකුයි ලෝකෙකට ඕන. ලොකු දේවල් කලාට.. පොඩි දේවල් අමතක නම් එකේ පොඩි අවුලක් තියෙනවා.

ගමට සුදු කොඩියක් නොදා මිනිසුන්ගේ හදවතේ සුදු කොඩියක් දාලා යන්න පුළුවන් වෙන විදියට මැරෙන්න දවසක. මොකද කය  දිරුවත් නාමය හැමදාටම රැඳෙනවා……

✍ උපේක්ෂා ලියනගේ 






Post a Comment

0 Comments