ඉතිං කොහොමද රට හදන්නෙ?

 අපේ රට අපි හැමෝටම පාලනය කරන්න බැරි නිසා අපේ නියෝජිතයෝ අපි පාර්ලිමේන්තුවට යැව්වා. එතන 225ක් ඉන්නවා. අපි යවපු අපේ උන්ගේ හොදකම නිසා රටම දැන් කඩාවැටිලා. ටික ටික වැටෙනකොට ඒක ගැන දන්න අය කියනකොටත් අපි අපේ උන් වෙනුවෙන් පෙනී හිටියා. දන්නෙම නැතුව අහස ඔළුවෙ කඩා වැටුණාම අපි අපේ උන්ටම යන්න කියල පාරට ආවා.ඒ අතරේ ඉතුරු අපේ උන් ටිකත් කෑ ගැහුවා පලයන් කියල.  කොහොම හරි උගුර ලේ රහ වෙනකම් කෑ ගහල බැනල, ගුටි කාල, මැරිල උන්ව යවා ගත්තා. ඔන්න ගියා….

අපි හිතං හිටියේ අපේ උන්ට ප්ලෑන් එකක් ඇති කියල ඉස්සරහට රට මේ නරා වළෙන් අපිව ගොඩගන්න.. දැන් මොකද කරන්නෙ. අපේ උන් එක එකා දිහා බලනවා. අනිකාට මුවා වෙනවා. ඔට්ටු සෙල්ලං - හැංගිමුත්තන් - එලුවන්කෑම.. මෙන්න අපි යවපු උන්. ඒ අස්සේ  හමුදාවෙ යුද්දෙට යන තඩි ටැංකි පාරට එනවා. හරියට යුද්දෙ කාලෙ වගේ. අපේ උන්ට පාර්ලිමේන්තුවවත් ඇරගන්ට බෑ.අපි අපිම යවපු අනිත් අපෙ මහ එකාටත් යන්න කිව්වා. ඌත් ගියා. හැබැයි නිකන් නෙමෙයි. ආරක්ෂකයෙක් පත් කරගෙනම. නැත්නම් අපි පත් කරපු අපෙ එවුන්ට හැංගෙන්න තැන් නැති වෙනවා.සැලසුම් නෑ.එකඟතා නෑ.. අදහස් නෑ.. ඔන්න අපි වෙනුවෙන් අපි කියල යවපු උන්.. හැමෝම හිතන්නෙ අපේ ඡන්දෙ ආයෙ ගන්නෙ කොහොමද කියලා මිසක් දැන් කරන්නෙ මොකක්ද කියලා නෙවෙයි.

දැන් අපිත් ආයෙ පටන් ගත්තා.. අපේම එකාගෙ පින්තූරෙ පිටිපස්සෙ ජාතික කොඩිය ගහලා හුරේ දාන්න. කොහොමද මේක කරන්නෙ කියල. කාටවත් රට ගොඩගන්නේ කොහොමද කියලා කිසිම සැලසුමක් නෑ..කොහොමද ගොඩ එන්නෙ කියල.. මොකක්ද කෙටි කාලීන සැලැස්ම දිගු කලීන සැලැස්ම..කියල.. අපි ඉල්ලුවද? නෑ නේද? ආයෙත් අමතක වුණා නේද? අපේ එකාට චන්ස් එකක් එනව කියල හිතුනම.. ආයෙත් ජය වේවා කියල කෑ ගහන්න හිතෙන අර නිවට නරි ගතිය එලියට එනව නේද?

පේනව නේද අපිත් උන්මයි කියල.. උනුත් අපිමයි කියල….

ඉතිං  කොහොමද රට හදන්නෙ?

අපි ඔක්කොම අපිට වාසි, අපේ එකා දිනවන්න යටින් ගේම් ගහලා පෞද්ගලික න්‍යායපත්‍ර වලට අනුව වැඩ කරද්දි….

✍ උපේක්ෂා ලියනගේ 





Post a Comment

0 Comments